මතක පුස්තකාලය – E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති
මාතර කුමාරතුංග මුනිදාස පුස්තකාලයේ
මෙස පුටු පොත් රාක්ක
මා හොඳින් හඳුනන පරණ මිතුරන්ය
නගර සභාවට කවුරු පත් වුවද
සේවක කැළ වෙනස් වුව ද
මෙ ලී රාක්ක -පොත්- මෙස- පුටු ටික- සදාකාලිකය මට!
කලෙකින් එහි ගොඩ නොවැදුන ද
අත වනයි යන කල කොටුවෙගොඩ පැත්තට:
කුමරතුගු තුන්ග පිළිමය
කාලයක් මගේ විශ්ව විද්‍යාලය ද එය විය
ඒ කාලය, මගෙ ළමා කාලය…
උයන්වත්ත පිට්ටනිය අසබඩ
තාරකා කොටුව: ලංදේසි ඉදිකල
මුල්ම ගෙය විය පුස්තකාලයේ
මා ගොඩවැදුනු මුල්ම කාලයේ
හරිම පොත් සුවඳයි මුලු තාරකා කොටුවම
පරණ පොත්මය දුටුවෙ ඒ කල
හැත්ත නවයේ ළමා වර්ෂයේ ,
ප‍්‍රථමයෙන් මා කැටුව එහි ගිය
බණ්ඩත්තර මාමා දැන් මෙලොව නැත
සුරුට්ටුවක් කටෙ ගහගෙන
රැලේ සයිකලේ මා හිඳුව ගෙන
ගාළු පාරෙන් මා වඩා ගෙන
තාරකා කොටුවට ගිය; බණ්ඩත්තර මාමා දැන් නැත
තොරතෝංචියක් නැති ගාලුපාරෙ
රථ වාහන නලා බ්රෙක් හඩ මැද
මා එහි සමාධිගතව හුන් කාලය කොතරම් ද?
පොතක් පතක්වත් මුදලට ගත නොහුනු
මගේ බාල විය; මගේ බාල ඇස්
ඒ පුස්තකාල රාක්ක වල
පරණ කොල සුවඳ දුන් -අත්වලට දියව ගිය
පොත් පිටු අතර ගත වුන
ඒ සොඳුරු යුගය
ආයෙ නම් කවර කලෙක
යළි අත් දකින්නට මට ලැබෙන්නෙ ද?
බයිසිකල් කන්තක අසු පිට නැගී
නිල්වලා නදී තෙර පැන රිංගා ගත්
පුස්තකාලය කවර දෙවොලක් විණි ද පසු කල?
අත පසුව ගෙදර ගෙන ගිය පොත් දෙක
එන විට තැපෑලෙන් පුංචි සිහි කැඳවුම්
කොයි තරම් සුන්දර ද ඇති වුනු බිය
දඩ ගෙවන්නට පුස්තකාලයාධිපතිනිය ට ?
ඇය කොතරම් රෞද‍්‍ර ගැහැණියක් ද
පමා වූ පොත් රැගෙන යන කල
සිතට ඉපදුනි අමර මර බිය
ගෙදරින් ද නැත සමාවක් මෙවැනි වරදට
මුදල් ගෙවුම හැර
හිර බත් කන්ට ද හිත දුනි!
ඒ දවස් වල මතකය
වරක් රුපියල් හතරයි ශත පණහක
දඩයක් ගෙවා ගන්නට ගෙදර තිබුන
පරණ ඇක්සයිස් පොත් ටික කොයිපිල්ලෙට[1]
විකුණ ගත් හැටි ,ගෙදරටත් නොකියාම
තවමත් මා සුරකින
රහසක් මා උගත්තෙය එක පොතකින් පුස්තකාලයෙ;
සංකීර්ණ සංඛ්‍යාවලින්
නිධානයක් සොයන හැටි
එක ගණිත පොතක[2] තිබුනෙන්
එදා හිටං අද වනතුරුත්
මම ඒ නිධානය සොයන්නට
වෙහෙසෙමි
එපමණි රහස මා
පුස්තකාලයෙන්
එකල දඩයම් කළ
අදත් මා වෙහෙසන!
[1. "කොයිපිල්ලෙ" යනු මාතර ගාලු පාරෙ 1983 දක්වා පැවති පරණ පොත්- බෝතල් -ගෝනි වැනි අබලි ද‍්‍රව්‍ය තොග වශයෙන් මිල දී ගත්තා වූ දෙමළ කඩයකි. 1983 දී මෙය ගිනිබත් කරන ලද්දෙන් පසුව එතන බිහි වූයේ "ජර්මන් රෙකෝඩ් බාර්" එකය. ඊටත් පසුව දැං සපත්තු කඩයක් ඇත.
2. සංකීර්ණ සංඛ්‍ය ගැන ලියැවුනු මෙ රුසියන් පොත [ප‍්‍රගති ප‍්‍රකාෂණයක්] කවදාවත් මට සොයා ගත නොහැකි විය. එහි කවරයේ කාටිසීය ඛණ්ඩාංක තලයක් ඇඳ එහි පෛතගරස් ප‍්‍රමෙයට අදාල ති‍්‍රකෝණයක් සහ සංකීර්ණ අක්ෂය පෙන්නුම් කරන රූ සටහනක් තිබ්බා මතකය. මෙ පොතට මම සදා පෙම් කරමි.]
පිළිස්සුනු මිනිසා – E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති
රූපවාහිනි තිරයෙන් පැන
පිලිස්සී ගිය මිනිසෙක්
ම වෙත පැමිණ ඇත;
පුළුටු ගඳ සිරුරෙ තැන් තැන්වල වෙඩි උණ්ඩ
මම ඔහු සමග ඩිනර් ගනිමි
මම ඔහු කැටුව ෂොපිං යමි
මම ඔහු සමග අබා බලන්නට යමි;
බැල්කනියේ අය බාබකියූ සුවඳ ප‍්‍රිය කරති
ඔහු පිලිස්සුනු කැළල් මත අළු කඩමින්
එමත ෆෙයාර් ඇන් ලවුලි අමදියි
කට කොනින් සිනාසෙයි
එය හරියටම
සිග්නල් සිනාවකි
ඒ සිග්නල් එක
මට ද ඔබට මෙන්ම
නොතෙරෙ…
මළ ගෙවල් -දාන මාන -දොල පිදේනි- තොවිල්
කාර්යාල -කන්තොරු- කඩමංඩි- තැබෑරුම්
කච්චෙරි -උසාවි -නගර සභා- ප‍්‍රජා ශාලා
මෙ හැම තැන මම ඔහු සමග යමි
පිළිස්සුනු මිනිසා
මැක්ඩොනල්ඩ් යමුදැයි අසයි
මම හා කියමි
බම්බලපිටිය පැත්තෙන්
කැරොකේ එකකට ද වැදී
කජු කිරි කෙල්ලන්ට දැවටී
ඔහු සමග බීර බොමි
පිළිස්සුනු මිනිසා විනෝදෙනි! ප‍්‍රීතියෙනි!!
ශාලාව අඳුරු කර
මම
මටම
මරණ දණ්ඩනය පවරා ගතිමි!
පෑන දෙකට කැඩුවෙමි…
අලුමතින් නැගෙන අලුත් කවි! – E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති
රසවත්ම කවියක් රස විඳිය යුතුයැ සිතෙන
හැම විට
මම ලියමි කවියක්
මා හටම
ඔලුව කකියන විටෙක
හිස පුපුරා යනු දැනෙන කළෙක
මම ලියමි කවියක්
වතුරෙ දියවෙන
ඇස්ප‍්‍රින් පෙත්තක් සේ
සිත තුල බුබුළු ලන වදන් මත
අතීතය හූය බැඳ;
මිනිසුන් ලේ වැකිව ඇද වැටෙන විට
ලියමි රසවත්ම කවියක්
ඔවුනගේ ආත්ම
සුවපත් කරන්නට
ස්තෝත‍්‍රයක් ලෙසම
ලඝු ගුරු ඝණ ද
පිහිටුවා: සෙත් වෙද ඒ කවිය?
දරුවන් කැබලි විසිරුනු
දුම්මල වරං ගත්
රත්වුනු යකඩින් තැළුන
ගිනියම් පොලොව මත
වෙවුලන ඇගිල්ලකින්
පිචිචෙන හදවතින්
ලියමි රසවත් කවියක්
ඒ දරු කැබලිවල
සුන් වූ ආත්ම
එක්කාසු වෙන්නට
ස්වර නගපු පිරිත් බල කවපු?
දැවී දා ගිය මහළු අම්මෙක්
පොලොව පස් බද අගුරු වූ කළ
ලියමි රසවත් කවියක්
ඒ අලු දූලි මත
ඇන ගනිමි හදවතට
උල්පත් පෑනෙන් ගැඹුරට
පුරවාලමි රුධිරයෙන්
කවි ලියන්නට මතු දින


