කවිසිත්.com

කවිපීඩියාව – KAVIPEDIA

පිළිස්සුනු මිනිසා – E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති

රූපවාහිනි තිරයෙන් පැන
පිලිස්සී ගිය මිනිසෙක්
ම වෙත පැමිණ ඇත;
පුළුටු ගඳ සිරුරෙ තැන් තැන්වල වෙඩි උණ්ඩ
මම ඔහු සමග ඩිනර් ගනිමි
මම ඔහු කැටුව ෂොපිං යමි
මම ඔහු සමග අබා බලන්නට යමි;
බැල්කනියේ අය බාබකියූ සුවඳ ප‍්‍රිය කරති
ඔහු පිලිස්සුනු කැළල් මත අළු කඩමින්
එමත ෆෙයාර් ඇන් ලවුලි අමදියි
කට කොනින් සිනාසෙයි
එය හරියටම
සිග්නල් සිනාවකි
ඒ සිග්නල් එක
මට ද ඔබට මෙන්ම
නොතෙරෙ…
මළ ගෙවල් -දාන මාන -දොල පිදේනි- තොවිල්
කාර්යාල -කන්තොරු- කඩමංඩි- තැබෑරුම්
කච්චෙරි -උසාවි -නගර සභා- ප‍්‍රජා ශාලා
මෙ හැම තැන මම ඔහු සමග යමි

පිළිස්සුනු මිනිසා
මැක්ඩොනල්ඩ් යමුදැයි අසයි
මම හා කියමි
බම්බලපිටිය පැත්තෙන්
කැරොකේ එකකට ද වැදී
කජු කිරි කෙල්ලන්ට දැවටී
ඔහු සමග බීර බොමි
පිළිස්සුනු මිනිසා විනෝදෙනි! ප‍්‍රීතියෙනි!!

ශාලාව අඳුරු කර
මම
මටම
මරණ දණ්ඩනය පවරා ගතිමි!

පෑන දෙකට කැඩුවෙමි…

May 6, 2009 Posted by | E.A. Dawson Preethi - E. A. ඩෝසන් ප්‍රීති | 2 Comments

අලුමතින් නැගෙන අලුත් කවි! – E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති

රසවත්ම  කවියක් රස විඳිය යුතුයැ සිතෙන
හැම විට
මම ලියමි කවියක්
මා හටම
ඔලුව කකියන විටෙක
හිස පුපුරා යනු දැනෙන කළෙක
මම ලියමි කවියක්
වතුරෙ දියවෙන
ඇස්ප‍්‍රින් පෙත්තක් සේ
සිත තුල බුබුළු ලන වදන් මත
අතීතය හූය බැඳ;
මිනිසුන් ලේ වැකිව ඇද වැටෙන විට

ලියමි රසවත්ම කවියක්
ඔවුනගේ ආත්ම
සුවපත් කරන්නට
ස්තෝත‍්‍රයක් ලෙසම
ලඝු ගුරු ඝණ ද
පිහිටුවා: සෙත් වෙද ඒ කවිය?

දරුවන් කැබලි විසිරුනු
දුම්මල වරං ගත්
රත්වුනු යකඩින් තැළුන
ගිනියම් පොලොව මත
වෙවුලන ඇගිල්ලකින්
පිචිචෙන හදවතින්
ලියමි රසවත් කවියක්

ඒ දරු කැබලිවල
සුන් වූ ආත්ම
එක්කාසු වෙන්නට
ස්වර නගපු පිරිත් බල කවපු?

දැවී දා ගිය මහළු අම්මෙක්
පොලොව පස් බද අගුරු වූ කළ
ලියමි රසවත් කවියක්
ඒ අලු දූලි මත

ඇන ගනිමි හදවතට
උල්පත් පෑනෙන් ගැඹුරට
පුරවාලමි රුධිරයෙන්
කවි ලියන්නට මතු දින

May 6, 2009 Posted by | E.A. Dawson Preethi - E. A. ඩෝසන් ප්‍රීති | 2 Comments