කවිසිත්.com

කවිපීඩියාව – KAVIPEDIA

මතක පුස්තකාලය – E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති

මාතර කුමාරතුංග මුනිදාස පුස්තකාලයේ
මෙස පුටු පොත් රාක්ක
මා හොඳින් හඳුනන පරණ මිතුරන්ය
නගර සභාවට කවුරු පත් වුවද
සේවක කැළ වෙනස් වුව ද
මෙ ලී රාක්ක -පොත්- මෙස- පුටු ටික- සදාකාලිකය මට!

කලෙකින් එහි ගොඩ නොවැදුන ද
අත වනයි යන කල කොටුවෙගොඩ පැත්තට:
කුමරතුගු තුන්ග පිළිමය
කාලයක් මගේ විශ්ව විද්‍යාලය ද එය විය
ඒ කාලය, මගෙ ළමා කාලය…

උයන්වත්ත පිට්ටනිය අසබඩ
තාරකා කොටුව: ලංදේසි ඉදිකල
මුල්ම ගෙය විය පුස්තකාලයේ
මා ගොඩවැදුනු මුල්ම කාලයේ

හරිම පොත් සුවඳයි මුලු තාරකා කොටුවම
පරණ පොත්මය දුටුවෙ ඒ කල
හැත්ත නවයේ ළමා වර්ෂයේ ,
ප‍්‍රථමයෙන් මා කැටුව එහි ගිය
බණ්ඩත්තර මාමා දැන් මෙලොව නැත

සුරුට්ටුවක් කටෙ ගහගෙන
රැලේ සයිකලේ මා හිඳුව ගෙන
ගාළු පාරෙන් මා වඩා ගෙන
තාරකා කොටුවට ගිය; බණ්ඩත්තර මාමා දැන් නැත

තොරතෝංචියක් නැති ගාලුපාරෙ
රථ වාහන නලා බ්රෙක් හඩ මැද
මා එහි සමාධිගතව හුන් කාලය කොතරම් ද?

පොතක් පතක්වත් මුදලට ගත නොහුනු
මගේ බාල විය; මගේ බාල ඇස්
ඒ පුස්තකාල රාක්ක වල
පරණ කොල සුවඳ දුන් -අත්වලට දියව ගිය
පොත් පිටු අතර ගත වුන

ඒ සොඳුරු යුගය
ආයෙ නම් කවර කලෙක
යළි අත් දකින්නට මට ලැබෙන්නෙ ද?

බයිසිකල් කන්තක අසු පිට නැගී
නිල්වලා නදී තෙර පැන රිංගා ගත්
පුස්තකාලය කවර දෙවොලක් විණි ද පසු කල?

අත පසුව ගෙදර ගෙන ගිය පොත් දෙක
එන විට තැපෑලෙන් පුංචි සිහි කැඳවුම්
කොයි තරම් සුන්දර ද ඇති වුනු බිය
දඩ ගෙවන්නට පුස්තකාලයාධිපතිනිය ට ?

ඇය කොතරම් රෞද‍්‍ර ගැහැණියක් ද
පමා වූ පොත් රැගෙන යන කල
සිතට ඉපදුනි අමර මර බිය
ගෙදරින් ද නැත සමාවක් මෙවැනි වරදට

මුදල් ගෙවුම හැර
හිර බත් කන්ට ද හිත දුනි!

ඒ දවස් වල මතකය
වරක් රුපියල් හතරයි ශත පණහක
දඩයක් ගෙවා ගන්නට ගෙදර තිබුන
පරණ ඇක්සයිස් පොත් ටික කොයිපිල්ලෙට[1]
විකුණ ගත් හැටි ,ගෙදරටත් නොකියාම

තවමත් මා සුරකින
රහසක් මා උගත්තෙය එක පොතකින් පුස්තකාලයෙ;

සංකීර්ණ සංඛ්‍යාවලින්
නිධානයක් සොයන හැටි
එක ගණිත පොතක[2] තිබුනෙන්
එදා හිටං අද වනතුරුත්
මම ඒ නිධානය සොයන්නට
වෙහෙසෙමි

එපමණි රහස මා
පුස්තකාලයෙන්
එකල දඩයම් කළ
අදත් මා වෙහෙසන!

[1. “කොයිපිල්ලෙ” යනු මාතර ගාලු පාරෙ 1983 දක්වා පැවති පරණ පොත්- බෝතල් -ගෝනි වැනි අබලි ද‍්‍රව්‍ය තොග වශයෙන් මිල දී ගත්තා වූ දෙමළ කඩයකි. 1983 දී මෙය ගිනිබත් කරන ලද්දෙන් පසුව එතන බිහි වූයේ  “ජර්මන් රෙකෝඩ් බාර්” එකය. ඊටත් පසුව දැං සපත්තු කඩයක් ඇත.

2. සංකීර්ණ සංඛ්‍ය ගැන ලියැවුනු මෙ රුසියන් පොත [ප‍්‍රගති ප‍්‍රකාෂණයක්] කවදාවත් මට සොයා ගත නොහැකි විය. එහි කවරයේ කාටිසීය ඛණ්ඩාංක තලයක් ඇඳ එහි පෛතගරස් ප‍්‍රමෙයට අදාල ති‍්‍රකෝණයක් සහ සංකීර්ණ අක්ෂය පෙන්නුම් කරන රූ සටහනක් තිබ්බා මතකය. මෙ පොතට මම සදා පෙම් කරමි.]

May 7, 2009 Posted by | E.A. Dawson Preethi - E. A. ඩෝසන් ප්‍රීති | 10 Comments

පිළිස්සුනු මිනිසා – E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති

රූපවාහිනි තිරයෙන් පැන
පිලිස්සී ගිය මිනිසෙක්
ම වෙත පැමිණ ඇත;
පුළුටු ගඳ සිරුරෙ තැන් තැන්වල වෙඩි උණ්ඩ
මම ඔහු සමග ඩිනර් ගනිමි
මම ඔහු කැටුව ෂොපිං යමි
මම ඔහු සමග අබා බලන්නට යමි;
බැල්කනියේ අය බාබකියූ සුවඳ ප‍්‍රිය කරති
ඔහු පිලිස්සුනු කැළල් මත අළු කඩමින්
එමත ෆෙයාර් ඇන් ලවුලි අමදියි
කට කොනින් සිනාසෙයි
එය හරියටම
සිග්නල් සිනාවකි
ඒ සිග්නල් එක
මට ද ඔබට මෙන්ම
නොතෙරෙ…
මළ ගෙවල් -දාන මාන -දොල පිදේනි- තොවිල්
කාර්යාල -කන්තොරු- කඩමංඩි- තැබෑරුම්
කච්චෙරි -උසාවි -නගර සභා- ප‍්‍රජා ශාලා
මෙ හැම තැන මම ඔහු සමග යමි

පිළිස්සුනු මිනිසා
මැක්ඩොනල්ඩ් යමුදැයි අසයි
මම හා කියමි
බම්බලපිටිය පැත්තෙන්
කැරොකේ එකකට ද වැදී
කජු කිරි කෙල්ලන්ට දැවටී
ඔහු සමග බීර බොමි
පිළිස්සුනු මිනිසා විනෝදෙනි! ප‍්‍රීතියෙනි!!

ශාලාව අඳුරු කර
මම
මටම
මරණ දණ්ඩනය පවරා ගතිමි!

පෑන දෙකට කැඩුවෙමි…

May 6, 2009 Posted by | E.A. Dawson Preethi - E. A. ඩෝසන් ප්‍රීති | 2 Comments

අලුමතින් නැගෙන අලුත් කවි! – E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති

රසවත්ම  කවියක් රස විඳිය යුතුයැ සිතෙන
හැම විට
මම ලියමි කවියක්
මා හටම
ඔලුව කකියන විටෙක
හිස පුපුරා යනු දැනෙන කළෙක
මම ලියමි කවියක්
වතුරෙ දියවෙන
ඇස්ප‍්‍රින් පෙත්තක් සේ
සිත තුල බුබුළු ලන වදන් මත
අතීතය හූය බැඳ;
මිනිසුන් ලේ වැකිව ඇද වැටෙන විට

ලියමි රසවත්ම කවියක්
ඔවුනගේ ආත්ම
සුවපත් කරන්නට
ස්තෝත‍්‍රයක් ලෙසම
ලඝු ගුරු ඝණ ද
පිහිටුවා: සෙත් වෙද ඒ කවිය?

දරුවන් කැබලි විසිරුනු
දුම්මල වරං ගත්
රත්වුනු යකඩින් තැළුන
ගිනියම් පොලොව මත
වෙවුලන ඇගිල්ලකින්
පිචිචෙන හදවතින්
ලියමි රසවත් කවියක්

ඒ දරු කැබලිවල
සුන් වූ ආත්ම
එක්කාසු වෙන්නට
ස්වර නගපු පිරිත් බල කවපු?

දැවී දා ගිය මහළු අම්මෙක්
පොලොව පස් බද අගුරු වූ කළ
ලියමි රසවත් කවියක්
ඒ අලු දූලි මත

ඇන ගනිමි හදවතට
උල්පත් පෑනෙන් ගැඹුරට
පුරවාලමි රුධිරයෙන්
කවි ලියන්නට මතු දින

May 6, 2009 Posted by | E.A. Dawson Preethi - E. A. ඩෝසන් ප්‍රීති | 2 Comments

ගවුරිපාලන් – E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති

ඒඩීඑස් මහත්තයා දකිනව ද  හීනෙනුත්
තවමත් මවු ආර උඩින් එන සුදු පාට කාර් එකේ?
හම්බන්තොට ඔෆිස් එකේ තාමත් ජෝතිපාල
මුර කරනව ද
මෙන්ඩිස් මහත්තයලගේ
ක්වාටස් ටික?
මෙන්ඩා හෙන දසයා නේ බං?
කොහොමද දන්නේ නැහැ බෙකරියෙ නිමල්ගෙ බිස්නස්…
උඹ තාමත් නිමල්ගේ
රෝස් පාං කන්න යනව ද
හැන්දෑවට?

මචන්

උඹට මතක ද හම්බන්තොට ටවුමෙම රවුම් ගැහුවා
ඩෙක් එකක් සොයන්න කුලියට?
උඹට දෙමළ චිත‍්‍රපටියක් බලන්න…

උඹ පලාලි ගිය දවසේ ලයන් එයාර් එකෙන්
අපි බලං හිටියා තල් හකුරු කන්න දවස් ගැන ගැන

අපේ පරණ ක්වාටස් එක තවමත් වැස්සට තෙමෙනව ද ගවුරි?
ඒ කාලේ ඒ හම්බන්තොට වැස්සට
අපි කොයි තරම් ආසා ද බං?
ඒ කාලේ ගල් බෝතලෙත්
අපේම ජීවිතේ කොටහක්:
නැද්ද ?
අපි දැං වගේ නොවෙයි
අසනීප තිබ්බෙත් නැහැ ඒ තරම්
බිව්වා නේද නැති වෙන්න…
හැබැයි උඹ අත මොලවල නාඩි ඇල්ලුවා හැම තිස්සෙම
දියවැඩියා හැදෙයි කියල; අපි හිනා වුනා
නාඩිවලින් දියවැඩියාව හොයන්න බෑ කියලා…
උඹෙ අයිඩී එක නැතිව පොලිසිය ට ගත්ත දවසේ අපේ බත් පිළුං වුනා…
සී ආරි මහත්තයා නැහුන උඹ එලියට ගන්න

උඹෙ අර කැසට් ගෝනිය ගිය තැනක තියං ඉන්නව ද බං තාමත්…?
උඹ ඒ දවස් වල ඇහුව දෙමළ සිංදු ටික මට තාමත් ඇහෙනවා යන්තම්

උතුර හදන්න දවසක ඉංජිනේරුකම් කරන්න අපිත් එනවා කීවම
උඹ හිනා වෙලා අහක බලා ගත්තා
ඔව් උඹ හරි

මට ඒකට එන්න වෙන්නේ නැහැ තමයි…

අපි මවු ආරෙ හැදුවෙ වතුර යන ඇලක්
ඒත් මම කොහොමද
උඹ එක්ක  ගලන ලේ වලට
ඇලක් හදන්න එන්නේ ?

April 23, 2009 Posted by | E.A. Dawson Preethi - E. A. ඩෝසන් ප්‍රීති | 2 Comments

ප‍්‍රථම පේ‍්‍රමය – E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති

මලට පාට ආව තැනින්
රොනට සුවඳ ආව තැනින්
සුළග ගමන ඇරඹු තැනින්
දේදුන්නේ සැගවු අඩින්

වෙන්වූ තැනක
නිධන් කර
බහිරවයෙක් වී
සුරකිමි සැමකල

උපන් ලප තුනක්
පැළඳ නිකට මුව
දුටු ළඳ නැත
ගං ඉවුරට ලං වුව

පරණ වලව්වත්
සින්නව බැංකුවෙ
ළතවෙයි මුව
අං තට්ටුව බිත්තියෙ

ඩෝසර කර
වනසද ඒ වස්තුව
එස් ටී එෆ්
රංචුව දෙද ලංසුව

ඇමති පුතෙක්ගේ
දයාබරිත ඇස
ගැටුනොත් බහිරව
විශ්ණු ද සුන්මය

ආදරයේ නිධාන
සගවා ලෙන් තුල
බලා හිදිමි ගං
ඉවුරක තොටි දෙස…

February 25, 2009 Posted by | E.A. Dawson Preethi - E. A. ඩෝසන් ප්‍රීති | Leave a comment

ඒ කාලකන්නි මල – E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති

කවුරුත් දැක්ක ද කාලකන්නි මලක්
පිපුනු උද්‍යායනයේ
ඊයේ අපි කල් මැරූ
මහ සල් ගහ යට
මිටි පඳුරෙ

ආදරෙ ගැනම අතොරක් නැති කතා
අසා හිඳ හිඳම කාලකන්නි වුන
මලක්
පිපෙන්නට ලැජ්ජාවෙන්
ඇඹරි ඇඹරි

සමනලයටත්
එක මොහොතක් රසවත්
ඇති බව සිත යට සැගව ගත්

එක දවසින් ඉපදී
වැඩිවිය පත් වී
රමණය කර
එදාම මියෙන
සමනලයටත්
එක මොහොතක් රසවත්
ඇති බව සිත යට සැගව ගත්
ඒ කාලකන්නි මල

පිපුනා දුටුව ද කවුරුහරි

February 25, 2009 Posted by | E.A. Dawson Preethi - E. A. ඩෝසන් ප්‍රීති | Leave a comment

Intro. – E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති

dawson
E. A. ඩෝසන් ප්‍රීති, මාතර රාහුල විද්‍යාලයෙන් සහ මොරටුව සරසවියෙන් ශිල්ප හදාරා ඉංජිනේ්රු වෘත්තිකයෙකු වශයෙන් දැනට ඩුබායි හී සේ්වය කරයි. සිය පළමු නිර්මාණ එකතුව මුචලින්ද තාප්පය නමින් 2008 දී එළි දැක්වූ ඩෝසන්, බූන්දිය සමග එක්ව සයිබර් සාහිත්‍ය ක්‍රියාකාරකම්වල නිරතව හිඳියි.
මුචලින්ද තාප්පය 2008
dawsonpreethi@gmail.com
Dawson Preethi EA, TODINI Costruzioni Generali S.p.A, Dubai Branch
වචන ටැක්සිමුචලින්ද තාප්පය
0777 260817

February 25, 2009 Posted by | E.A. Dawson Preethi - E. A. ඩෝසන් ප්‍රීති | Leave a comment